කාලීන


ලාංකේය විද්‍යුත් මාධ්‍ය සමාජය දක්කාගෙන යමින් සිටින්නේ කොතනටද?

ලංකාවේ ඇති ගුවන් විදුලි හා රූපවාහිනි සේවා සංඛ්‍යාව කොපමණක්ද? (නාලිකා යන්නද භාවිතා කලත් එම යෙදුම කොපමණ නිවැරදි යෙදුමක්දැයි නොදනිමි). ඔබ රූපවාහිනි නරඹන අයෙකු මෙන්ම කලාතුරකින් හෝ ගුවන් විදුලියට සවන් දෙන අයෙකු හෝ පුද්ගලික බස් රථයක් තුල බලෙන් රේඩියෝ ඇස්සවීමේ දඬුවමට ලක් වූ අයෙක් විය හැකිය. වර්ථමාන ලාංකේය ගුවන් විදුලි හා  රූපවාහිනී සේවා වල වැඩසටහන් මොඩලයේ සමාජ උපයෝගීතාවය කොපමණද? එක් එක් ගුවන් විදුලි හා රූපවාහිනී සේවා වල වැඩසටහන් මඟින් කාලීන සමාජ අධ්‍යාපන, කලාත්මක, සංස්කෘතික මෙන්ම  ආගමික  හර පද්ධතීන් ආරක්ෂාකර වඩා යහපත් සමාජ පරිසරයක් ඇති කරනු පිණිස සේවයක් හෝ මඟ පෙන්වීමක් සිදු වෙනවාද?

සත්‍ය වශයෙන්ම ගුවන් විදුලි හා රූපවාහිනී සේවා වල වගකීම කුමක්ද? බැලු බැල්මට අපට ඇහෙන, පෙනෙන ඒවාට ඇත්තේ හුදු ව්‍යාපාරික අරමුණක් පමණි. එනම් සල්ලි දී හෝ අස්සවන පෙන්වන අරුම පුදුම ගුවන් විදුලිය, රූපවාහිනීය. ශ්‍රාවක/ප්‍රේක්ෂක සවන හා දෙනෙත මත යැපෙමින් තම සමාජ වගකීම අමතක කොට ශ්‍රාවක/ප්‍රේක්ෂක අවකාශයට තමාගෙන් ඉටුවිය යුතු වගකීම පැහැර හරී නම් ඒපිළිබඳව කිව යුත්තේ කාටද? නූතන ගුවන් විදුලි හා රූපවාහිනි විසින් පොදු අවකාශය මතට ප්‍රමිතියකින් තොරව හිතුමතේ බාල, හරසුන් නරි නාටකාදිය මුදා හැරීම නියාමනය කල යුත්තේ කව්ද? එසේ ප්‍රමිතියකින් තොර බාල වැඩසටහන් මඟින් කෙරෙන සමාජ අපගමනයට වග කියන්නේ කවුද? ආණ්ඩුවද, එසේත් නැතිනම් මුදලාලිලාද?

මගේ අවලාදාත්මක පූර්චිකාව තව දුරටත් තහවුරු කරනු ලබන පහත උදාහරන වෙත අවධානය යොමු කරන්න. 

මුලින්ම රූපවාහිනියේ (පුද්ගලික හෝ රාජ්‍ය) දවසක වැඩ සටහන් පෙල ගැස්මක් සලකා බලමු. ජනප්‍රිය දේශකයාණන් වහන්සේලා විසින් මොඩිෆයි කරන ලද සෙත් පිරිත් වලින් ආරම්භ කර දවසක ඇරඹුම, උදාසනක සිරියාව හෝ ප්‍රමෝදය උත්කර්ෂයට ලක් කිරීමට අසමත් ගීත හෝ සුපර්ස්ටා මාර විලාප අතරින් පත්තර වල මුල් පිටුත්, ලෝකයේ කාලීන වැදගත් පුවත් විස්තරයත් අතරට පැමිණේ.  හුදෙක්ම පත්තර විස්තර කියවනු ලබන නිවේදකයාගේ පුද්ගලික හා දේශපාලන මතවාද සියයට 80ක් හා පත්තර විස්තර වලින් සියයට 20ක් ඉදිරිපත් කෙරේ. එසේ ඉදිරිපත් කෙරෙන විස්තරත්, ආයතනයේ හා නිවෙදකයාගේ දේශපාලන ලැදියාව අනුව යහමින් ඉතා සූක්ෂමව තෝරා බේරා ගනු ලබන ඒවාය. ඉතින් ඔවුන් තම මතවාදයත්, දේශපාලනයත් කාර්ය්‍ය බහුල උදාසනම අපේ ඔලුගෙඩි වලට ඇතුලු කරති.

ඊළඟට, අන්තර්ජාලයෙන් එහෙන් මෙහෙන් අහුලා ගත්තු ලෝක විස්තර ටිකක් ගිරා පෝතකයන් සේ දෙසා බාති.

ඉන් පසුව එළඹෙන්නේ කට්ටඬියන්ගේ, හොර කේන්දර මුදලාලිලාගේ අනාවැකි හෝරාවයි. අමු බේගල් දෙසා බාමින්, බොරුව, වංචාව අලෙවි කරමින් සමාජය තුල ඇති සත්‍ය හා බැඳියාවන් දිනෙන් දින වලපල්ලටම දක්කන කේන්දර හා ෆෙංෂුයි මුදලාලිලා අඩුම තරමේ උදාසන දහය වෙනතුරු වත් අල්ලාගෙන සිටිති.

පසුව අවිධිමත් වැඩසටහන් හෙවත් කොහොම හරි කාලය කවර් කර ගත යුතු වැඩසටහන් විකාශණය ආරම්භ කෙරේ. භාෂාවක් නැති, සංවරයක් නැති, හරියට ඇඳුමක් අදින්නේ නැති, කිසිසේත්ම අධ්‍යාපනයක් ලබා ඇතැයි සිතීමට වත් නොහැකි, ආත භූත දොඩවන තරුණ කෙල්ලන් හෝ, කොල්ලන් සේ පෙනෙන්නට උත්සාහ කරන විෂම ලිංගිකයන් තිරයේ උඩ පිණුම්-බඩ පිණුම් ගසති.

මොවුන්ගේ වැඩසටහන් වල ප්‍රමිතියක් ඇත. එම ප්‍රමිතිය නම් කිසිම ප්‍රමිතියකින් තොරව නරඹන්නාගේ පොදු අවකාශය හා අභිලාෂය හැකි සියළු ආකාරයෙන් විනාශ කිරීමයි, දූෂණය කිරීමයි. සුපර් ස්ටාර් මාර විලාප වැඩියෙන් ඇසෙන්නේත්, සිහින තරු නාටක වැනි බහු රූ කෝලම් නැවත විකාශණය කරනු ලබන්නේත් මෙම කාලය අතරතුරයි. වෙන කිසිවක් නිසා නොව කාලය කවර් කර කාබාසිනියා කර දැමීමට පමණක්ම මෙම වැඩ සටහන් වල මූලිකම අරමුණයි.

No comments:

Post a Comment